Tuesday, September 20, 2011

ශ්‍රී මුරුගන් දමිළ මහ විද්යාාලය - ඒලාලෙයි


බොහෝ දෙනෙකු යමක් කිරීමට යෑමේදී නොයෙකුත් අඩු පාඩු කියන්නට පුරුදු වී සිටී.එසේම යමක් කිරීමට සම්පත් නොමැති බවද තිබෙන සම්පත් සීමිත බව නිසා කල නොහැකි බවද ආදී නොයෙකුත් හේතු කාරණා නම් කීමට හපනුන්ය.
එසේම තවත් පිරිසක් තිබෙන සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට වෙහෙසේ. ඉතින් අප හට මෙවැනි පුද්ගලයින් දෙදෙනෙකු යාපනය ප්‍රදේශයේ වලිකාමම් අධ්‍යාපන කළාපයෙන් හමු විය.
2010 වසරේ අගෝස්තු මස දොලොස් වන දින වලිකාමම් අධ්‍යාපන කලාපයේ පාසල් සඳහා Intel® Teach ගුරු පුහුණුවක් පැවැත්විනි.මෙම වැඩමුළුවේ දී දක්නට ලබුනු එක් සුවිශේෂීතාවයක් නම්, පාඨමාලාවට සහභාගී වූ ගුරුවරුන් සියළු දෙනාටම තිබූ පරිඝණක සාක්ෂරතාවයයි.පුහුණුව පැවැති පුරා දින අට තුලදිම මෙම ගුරුවරුන් අපගෙන් තාක්ෂණික උදව් ලබා ගත් අවස්ථා අතෙහි ඇඟිලි ප්‍රමාණයටත් වඩා අඩුය.
ඉනුවිල් හින්දු විද්‍යාලයේ පැවැති මෙම පුහුණුවට ගුරුවරුන් විසි තුන් දෙනෙකු පමණ පැමිණ සිටියහ. මෙම ගුරු කණ්ඩායම දින අටෙහි පුහුණුව ඉතා සාර්ථක ලෙස නිම කරන ලදී.
මෙම කතාවට පාදක වන චරිත දෙකක් තිබේ. එනම් ඒලාලෙයි ශ්‍රී මුරුගන් දමිල පාසලෙන් පැමිණි මහින්දා මෙනවිය සහ ජෙයකාන්ත් මහතා එම චරිත දෙක වේ. මොවුන් පාසලට ගොස් නැවත මෙම පුහුණුව සිදු කිරීමට යෑමේ දී මුහුණ පාන්නට සිදුවූ ගැටළු එමටය.
එනම්,
1.   පාසලට ලැබී තිබුනේ පරිඝණක දෙකක් පමණක් වීම.
2.   පාසලට අන්තර්ජාල පහසුකම් නොමැති වීම.
3.   මොවුන් දෙදෙනා හැරුනු කොට පාසලේ ගුරුවරුන් සංඛ‍යාව දහ නවයක් පමණක් වීම.
නමුත් මෙම අභියෝග හමුවේ ඔවුන් නොසැලී මුහුණ දුන්නෝය.
මොවුන් දෙදෙනා පාසලට ගිය පසු පළමුවෙන්ම විදුහලපති තුමා සමග මෙම පුහුණුව තම පාසලේ පවත්වන්නේ කෙසේද කියා සාකච්ඡා කරන ලදී.පසුව විදුහල්පතිතුමා විසින් ගුරු රැස්වීමක් පැවත්වූ අතර එහිදී පාසලේ ගුරුවරුන් සමග මෙම පුහුණුව ගැන සාකච්ඡා කරගෙන ආරම්භ කිරීමට දිනයක් යොදා ගන්නා ලදී.
මොවුන් පාසලේ සියළුම ගුරුවරුන් එකවර ගෙන සිද්ධාන්ත කොටස් සිදු කර පසුව ප්‍රායෝගික කොටස් වලට මග පෙන්වීම් සිදු කරන ලදී.පසුව ගුරුවරුන්ට නිදහස් වේලාවල් වලදී, එසේත් නොමැතිනම් නිවසේ සිට හෝ මහින්දා මෙනවියගේත්, ජෙයකාන්ත් මහතාගේත් උදව් ඇතිව පුහුණුව දිගටම කරගෙන ගියහ.
මේ අතර එම ගුරුවරුන් දෙදෙනාගේ පෞද්ගලික පරිඝණක ඩෙක පාසලට ගෙන ආ අතර අන්තර්ජාලය භාවිතා කිරීමට ඔවුන් දෙදෙනාගේ පෞද්ගලික මොඩමයන්ද පාසලට ගෙනැවිත් ගුරුවරුන්ට භාවිතා කිරීමට අවස්ථාව සලසා දුන්නෝය.
මෙම කණ්ඩායම මසක් ඇතුලත මෙම පුහුණුව ඉතා සාර්ථකව නිමා කරන ලද අතර පාසලේ විදුහලපති තුමාද එයට සහභාගී විය.
මෙම කාරණාව නිසා අද වන විට මෙම පාසල ගැන මුළු උතුරු පළාත තුලම කතා බහට ලක් වී ඇත. එසේම මොවුන් දෙදෙනාගේ ක්‍රියාව නිසා අද වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම පාසලට පරිඝණක මධ්‍යස්ථානයක් ද ලබා දීමට කටයුතු සිදු කර හමාරය.
අද බොහෝ පාසල් වල සම්පත් නාස්ති වන අතර තවත් පාසල් වල සම්පත් ප්‍රමාණවත් නොවන නිසා වැඩ කිරීමට නොහැකි බව පවසයි.නමුත් ඒලාලෙයි ශ්‍රී මුරුගන් පාසල අන් අයට දෙන ආදර්ශය කොතරම් වටිනවාද?එම නිසා තිබෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජනය ලබා ගනිමු.එවිට තව තවත් සම්පත් නිතැතින්ම ලැබෙනු ඇත.

No comments:

Post a Comment