Tuesday, September 20, 2011

විදුහල්පතිවරයෙකුගේ කථාවක්....


2008 ජනවාරි මස මහනුවර විහාරමහාදේවී බාලිකා විද්‍යාලයේ Intel® Teach වැඩසටහනෙහි විදුහල්පතිවරුන් සඳහා වන එක් දින වැඩමුළුවක් පැවත්වීමට කටයුතු මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ද්වීතීක අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතියෙහි අධ්‍යක්ෂකතුමා වන තිලක් ඒකනායක මහතා විසින් කටයුතු සංවිධානය කර තිබුණි.
සුපුරුදු පරිදි වැඩමුළුව ආරම්භ කලේ තිලක් ඒකනායක මහතා විසිනි. විදුහල්පතිවරුන් සියළු දෙනාම පාහේ ඉතා හොඳින් ක්‍රියාවන් වල නියැළුනි. විදුහලපතිවරුන් සඳහා පැවැත්වුනු වැඩමුළුව ඉතා සාර්ථකව නිමා විය.
විදුහල්පතිවරුන් සමග සාකච්ඡා කර ගත් පරිදි ප්‍රධාන ගුරුවරුන් සඳහා වන පුහුණුවක් 2008 ජනවාරි මස නව වන දින හැටන් සාන්ත ගබ්‍රියෙල් පාසලේ පැවත්වීමට කටයුතු සිදු කරගෙන තිබුනි. අපගේ මෙම කථාවට සම්බන්ධ වන ප්‍රධාන චරිතය හමුවන්නේ මෙහිදීය. ඒ හැටන් අධ්‍යාපන කලාපයට අයත් අප්කොට් හි පිහිටි කුඩා දමිළ පාසලක් වන ගෞරාවිල්ල දමිල විද්‍යාලයේ විදුහල්පතිතුමා වන එස්. රමයියා මහතාය.
හැටන් ගබ්‍රියෙල් පාසලේ පැවැති ප්‍රධාන පුහුණුකරුවන් සඳහා වූ පුහුණුවට නොයෙකුත් පාසල් වලින් ගුරුවරුන් පැමිණි අතර ගෞරාවිල්ල දමිළ විද්‍යාලයෙන් රාමයියා මහතා ගුරුවරුන් දෙදෙනෙකු එවා තිබුනේය. ඒ ආර්. ඇන්ටනීරාජ් ගුරුමහතා සහ ඊ. මහේන්ද්‍රන් ගුරු මහතාය.
එම පුහුණුව පුරා දින අටක් පැවැති අතර එයට පැමිණි ගුරුවරුන් එය ඉතා සාර්ථකව නිමා කරන ලදී. නමුත් මොවුන්ට මෙතනින් නැවතීමට නොහැක.මෙම ප්‍රධාන ගුරුවරුන් නැවත පාසලට ගොස් තම ගුරු මණ්ඩලය පුහුණු කල යුතුය. නමුත් ගුරුවරුන්ට මෙය තනිවම කල නොහැකිය. අනිවාර්යයෙන්ම විදුහලපතිතුමාගේ සහයෝගය සහ මැදිහත්වීම නිරතුරුවම ලැබිය යුතුය.
මෙ අතර ගෞරාවිල්ල දමිළ විද්‍යාලයේ පුහුණු කිරීම් ආරම්භ කිරීමට පෙර විදුහලපතිතුමා සිදු කලේ ගුරු රැස්වීමක් පවත්වා මේ පිළිබඳව දැනුවත්  කිරීමය.
විදුහලේ පරිඝණක මධ්‍යස්ථානය සතුව තිබූ පරිඝණක සංඛ්‍යාව වූයේ 10 කි. නමුත් විදුහලපතිතුමාගේ මගෙ පෙන්වීමට අනුව ගුරුවරුන් විසිදෙනා බැගින් වූ කණ්ඩායම් දෙකක් දින කීපයක් තුලදී සාර්ථක අන්දමින් පුහුණුව නිමා කරන ලදී. මෙවැනි ඩෙයක් කල හැකි වූයේ විදුහල්පතිතුමාගේ ද තිබූ අති මහත් කැප වීම මත බව මෙහිදී කිව යුතුය.
මෙ ආකාරයට කාලය ගලාගෙන යන විට 2009 වසරේදී පෙබරවාරි මස මහනුවර ගෝතමී බාලිකා මහා විද්‍යාලයේදී විදුහලපතිවරුන් සඳහා වන වඩමුළුවක් මධ්‍යම පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ද්වීතීක අධ්‍යාපන නවීකරන ව්‍යාපෘතියේ කලමණාකාරතුමා වන තිලක් ඒකනයක මහතා විසින් කටයුතු සංවිධානය කර තිබුනි.
එම වැඩමුළුවට නුවරඑළිය, වලපනේ, කොත්මලේ, හැටන්, ගම්පොල සහ මහනුවර යන අධ්‍යාපන කලාප වලට අයත් පාසල් වල විදුහල්පතිවරු සහභාගී විය. මෙහිදී අප හට සුපුරුදු මුහුනක් දැකගත හැකි විය. එ වෙන කිසිවකු නොව, අප්කොට් හි ගෞරාවිල්ල දමිළ විද්‍යාලයේ හිටපු විදුහලපතිතුමා වන එස්. රාමයියා මහතාය.
 ඒ වන විට ඔහු රාජකාරි කරමින් සිටියේ හැටන් අධ්‍යාපන කලාපයට අයත් මස්කෙලිය සාන්ත ජෝසප් දමිළ මහා විද්‍යාලයේය. එම වැඩමුලුවේදී අප විසින් කීමට තිබූ බොහෝ දෙවල් රාමයියා මහතා විසින්ම කීවේය. එදිනම ඊලඟ පුහුණු සැසිවාර තිබෙන ස්ථානද සම්මත කරගනිමින් ම වැඩසටහන එදින නිමා විය.
කලින් සාකච්ඡා කරගත් පරිදි එක් පුහුණු වැඩමුළුවක් හැටන් අධ්‍යාපන කලාපයට අයත් හැටන් හි ජෝන් බොස්කො විද්‍යාලයේ දී 2009 ජූනි මස අට වන දින ආරම්භ විය. මෙයට කොත්මලේ, වලපනේ, සහ හැටන් යන අධ්‍යාපන කලාප වලට අයත් පාසල් වලින් ගුරුවරුන් පැමින සිටියහ.
මෙහෙදී රාමයියා මහතාගේ පාසලෙන් ද ගුරුවරියන් දෙදෙනෙකු පැමිණ සිටියහ.දින අටක පුහුණුව නිමා කිරීමෙන් පසුව අනෙක් ගුරුවරුන් මෙන්ම සාන්ත ජෝසප් විද්‍යාලයේ ගුරුවරියන් දෙදෙනා වන නිශා මෙනවිය සහ ශශිකලා මෙනවිය ද තම පාසලේ පුහුණු කිරීම් ආරම්භ කිරීමට පටන් ගත්තෝය. නමුත් ඔවුන්ගේ පාසලේ ඇති පරිඝණක සංඛ්‍යාව දහයක් වන අතර පළමුවෙන්ම ගුරුවරුන් තිස් නව දෙනෙක් විදුහලපතිතුමාගේ මග පෙන්වීම යටතේ පුහුණුවීම් ආරම්භ කලෝය.
මෙහිදී "අවවාදයට වඩා ආදර්ශය උතුම්ය" යන වැකිය සිහියට නංවමින් විදුහලපතිතුමාද පලමු කණ්ඩායමට සහභාගී විය. එහිදී එම ගුරුවරුන් හතලිස්දෙනාම කණ්ඩායම් දෙකක් ලෙස දින කීපයක් තුලදීම ඉතා සාර්ථකව පුහුණුව නිමා කරන ලදී. මෙහෙදී කිවයුතු තවත් විශේෂත්වයක් වන්නේ, පුහුණුවට අමතර පොතක් විදුහල්පතිතුමා මැදිහත්ව පාසලේ ගුණාතමක යෙදවුම් වලට වෙන් කර ඇති මුදලින් ගුරුවරුන්ට සකසා දීමයි.
ඊට පසුව විදුහලපතිතුමා අවට පාසල් වලටද මෙම පුහුණුවට සහභාගී වන ලෙස ලිඛිතව දැනුම් දුන්නේය. පසුව ඒ ආකාරයට තවත් අවට පාසල්වල විදුහල්පතිවරුන් කීප දෙනෙකු ඇතුළුව තවත් ගුරුවරුන් හතලිස් දෙනෙකු එම පාසලේ දී පුහුණු කලහ. මෙහිදී නිශා මෙනවිය සහ ශශිකලා මෙනවිය ද ඉතා මහත් සේ කැප විය.
මේ ආකාරයට එම පාසලේදී පුහුණු කරන ලද සම්පූර්ණ ගුරුවරු සංඛ්‍යාව අසූවකි. මෙය ශ්‍රී ලංකාවේ Intel® Teach ගුරු පුහුණු වැඩසටහනේ පාසලක පුහුණු කරන ලද වැඩිම ගුරුවරුන් සංඛ්‍යාව වේ. එසේම එස්. රාමයියා මහතා මැදිහත් වීමෙන් පුහුණු කරන ලද මුළු ගුරු සංඛ්‍යාව ගුරුවරුන් එකසිය විස්සකි. විදුහල්පතිවරයෙක් මග පෙන්වීම යටතේ පුහුණු කරන ලද වැඩිම ගුරු සංඛ්‍යාව වනුයේ ද මෙයයි.
නායකයෙකුට ඉතා හොඳ වෙනසක් කල හැකි බව අපට එස්. රාමයියා මහතාගෙන් ම ඉගෙන ගත හැක.

No comments:

Post a Comment